Monday, December 26, 2016

මම

රැයේ පියකරු සිනමා දසුන් මත
මිහිරිම මතක රදවමි
නුබේ අත් අල්ලගෙන ඇවිද ගිය තැනක ඉදහිට
දැනුදු සිත නවතමි

මේ සිහිනයක්මදැයි විමසන වරෙක සිත
දිගුකල හැකි දුරට අත පා බලමි
සයනයෙහි මුව හොවා දිගු රැයක
කෙටි සිහින පෙල ගසමි

වා කවුලු හිදැසකින්
දුර ඈත සද දකිමි
තරුවකට ලන් වෙන්න
නොහැකි බව මම දනිමි

දිගු සුසුම් කදුලු වැහි
අතර බොදවන සද බලමි
සුව සිහින අතර නුබ නිදන බව සිත සිතා
දිගු රැයක් කෙටි කරමි

සිනාබර නුබේ වත අලුත් වූ නුබේ ලොව
මොහොතකට සිහි කරමි
අරුණු නැගෙනා හෙට
අලුත් දවසකට දිරි ගනිමි

දුක හිතෙන්නෙම නැත්ද දැන් ඔයාට
අසනා අයෙකු ලග මොහොතකට ගොලුවෙමි
ජීවිතේ හැටි ඔහොමයි
දහස් වර මියැදෙමින් ලෝකයක් රවටමි



Sunday, September 18, 2016

නමක් නැති අදහසක්

"රණ මග ඔස්සේ නන්දිකඩාල් "ඒ තමයි  පහුගිය දවස් ටිකේම මගෙ සිහිනය. පහුගිය දවස් ටි‍ක‍ේම මං බලන් උන්නෙ  පොත් ප්‍රදර්ශනයට යන්න. ගිය ගමන්ම මේ පොත මිලදී ගන්න. හැබැයි අන්තිමට ඒක හීනයක්ම වුණා.පළමු දවසෙම එහි පිටපත් සියලල්ම අවසන් වෙළා.  පළමු දවස මං මග හැරියෙ දෙවෙනි දවසෙ වඩාත් පහසුවෙන් ගමන ගිහින් ඕන කරන පොත් ටික තෝරගන්න හිතාගෙන.  මගේ පොත් ලැයිස්තුවේ ඊට අමතරව තවත් යුද්ධය හා බැ‍දුණු පොත් පත් කිහිපයක්ම තිබුණා. තමලිනී ජෙයකුමාරන්ගේ "තියුණු අසිපත සෙවණ යට", සුනිලා විජේසිංහයන් ලියූ " කොටි දියණියකගේ පාපොච්චාරණය", "Gota's War" කෘතිය, "කිසිදාක සතුරාට යටත් නොවූ මා" වගේම වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා විසින් ලියන ලද "අධිෂ්ඨානය"ද ඒ අතර විය. ඉදින් තමලිනී ජෙයකුමාරන්ගේ තියුණු අසිපත සෙවණ යට කෘතිය හැරුණූ ක‍ොට මා අන් කිසිදු පොතක් ඇහැටවත් දැක්කේම නැත.ඉතින් අවසානයේ ලැයිස්තුවේ නැති පොත් ගොන්නක්ම මල්ලට එකතු වුණා. මොහාන් රාජ් මඩවලගේ "රැජින"  මිලදී ගත්තේ ඒ නිසා.

මගේ කියවීම් ලැයිස්තුවේ යුද්ධය ආශ්‍රිත පොත් ගොඩක් .තියෙනවා. ඇත්තටම මිනිස්සු කුතුහලය පිරුණු ජාතියක්. ඉතින් ඇත්තටම වුණේ  ‍මොකක්ද දැනගන්න හැමෝම කැමතියි. මටනම් ඒක කැමැත්තකට වඩ එහා ගිය වුවමනාවක් අවශ්‍යතාවක්. හැමෝටම ඒ ගැන කියන්න කතාවක් තියෙනවා. තම තමන් දැකපු විදියට තම තමන්ට දැනුණූ විදියට. 
කෝම වුණත්  "රණ මග ඔස්සේ නන්දිකඩාල් " කෘතිය මිලදී  ගන්නම ඔන. ඒත් එක්කම අනිත් පොත් ටිකත්. හැමෝටම කියන්න තියෙන කතා‍ව‍ෙ ඇත්ත දැනගන්නම ඕන. 
 එක අතකට හිතුවොත් අපි අතීතෙ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ වළගම්බා රජ්ජුරුවන්ගෙ වගේ කතා කියවලා අහලා  අපේ අතීතෙ ගැන ඉගෙන ගත්තා . අද ජීවත් වෙන අපේ අතීතෙ බොහෝ දෙනාගෙ පලයින් කදුලින් ලියැවිලා තියෙන බව අපි ඉගෙන ගත්තා. ඉතින් දවසක අපේ දරුවො ඒ දරුවන්ගෙ දරුවොත් රජකථා වගේම මේ යුධ කතාවත් දැනගන්නම ඕන.
ඒ කොහොම වුණත් තාම කියවලා  ඉවර නැති වුණත් රැජින කෘතියෙන් කොටස් කීපයක් උපුටා ගන්න මට හිතුණා. බැලූ බැල්මට නවකථාවක් වුණාට වරින් වර විවිධ රසයන් ඉස්මතු කළාට ඇත්තටම ඒ ඇතුළෙ හැංගිලා තියෙන දේශපාලන යථාර්ථයට මං කැමතියි. හරියටම  නවකථාව ඇතුළෙන් හීනියට එල්ලකරපු සමාජ උපහාසයක් වගේ. 

"රණ මග ඔස්සේ නන්දිකඩාල් " කෘතියට තියෙන ඉල්ලුම ගැන මුහුණූ පොතේ බොහෝ දේ පළවුණා. බොහෝ දෙනාට බොහෝ අර්ථකථන තිවුණා. එක තැනක මං දැකපු  මට හොදටම මතක හිටපු කතාවක් වුණේ " කිරිබත් කාළා යුද්ධයේ සතුට සමරපු ජනතාවට තවත් සතුටු වෙන්න ක්‍රමයක් විදියට. ඒ වගේම අතීතයේ අමිහිරි මතක හාරවුස්සල සතුටු ‍ වෙන ක්‍රමයක් විදියට". ඒත් මේ ගැන මට තියෙන්නෙ වෙනස්ම අදහසක්. 




අපි ඉගනගත්තු  අතීත රජ කතා වගේ අපේ දරුවොත් ඒ දරුවන්ගෙ දරුවොත් එදා ඇත්තටම මොකද වුණේ කියල දැනගන්න ඕන. නිදහසේ හුස්ම ගන්න මේ මහපොළොවෙ අපි නමවත් නොදන්නන දැකලවත් නැති වීර හදවත් තිබුණූ වීරවරයො වීරවරීයො එහෙම දරුවො ලෝකෙට බිහිකරපු වීර මව් පියො අනන්ත ගණනක් හිටිය බව ඒ අයට දැනෙන්න ඕන. අපේ හුස්ම ටික වෙනුවෙන්  සියදහස් ගණනක් අය තමන්ගෙ ලේ දහඩිය කදුළු මේ පොළොවට එකතු කළ බව ඒ අයට දැනෙන්න ඕන. ලේබල් ගහල කොටු ගහල සීමා මායිම් ඇදළ උළුප්පන්න හදන ඇත්තට වඩා බරපතළ ඇත්තක් හැංගිලා තියෙන බව ඒ අයට හැගෙන්න ඕන.  යුද පෙරමුණේ ඉදිරියෙන්ම හිටපු සෙබළාට වගේම ත්‍රස්ථ පෙරමුණේ ඉදිරියෙන්ම හිටපු ත්‍රස්තයටත් ඊට ආනුභූතී වෙච්ච කතාවක් තිබුණූ බව වැටහෙන්න ඔන. සිංහල දෙමළ මුස්ලිම් හදවතක් නෑර ජීවිතය වගේම එක මොහොතක හුස්ම පොදක බලාපොරොත්තුව බය බීරාන්තර වෙච්ච යුගයක තිබුණු බව වැටහෙන්න ඕන. 



ඉතින්  රැජින කෘතියෙන් හරි අපූරුවට ‍වෙන කතාවක් කියන ගමන් අපි වටහගන්න ඕන දේශපාලන යථාර්ථය ඒ ඇතුළෙ දක්වල තිබුණා.  

".......දුටුගැමුණු යුගයෙන් සිය අවුරුද්දකට පමණ පසු අපේ වෑයම විය යුත්තේ දෙමළ සිංහල මිනිසුන් අතර ළෙන්ගතුකම නැවත ඇති කිරීමට උත.්සාහ කිරීමයි. ඉතින් එහෙමනම් ‍දෙමළ මිනිහෙක් යුව රජු වීම ජාතික අපරාධයක් වන්නේ කොහොමද?...."

"....සිංහල මිනිස්සු කැමතියි තමන්ගෙ සිංහල කම ගැන විතරක් හිතන රජකෙනෙකුට.  දෙමළ මිනිස්සු කැමතියි තමන්ගෙ දෙමළ කම ගැන විතරක් හිතන රජකෙනෙකුට.ඒත් මුළු රටම ගැන හිතන රජ  කෙනෙක්. ඊට වඩා ගැඹුරට දුරට හිතන රජ කෙනෙක් වෙන්න ඕන..."

"...නූගත් අවිචාරශීලී මිනිසුන් කුපිත කිරීමට මේ බො‍රැ සිංහල බෞද්ධ හැගීම තරම් තවත් කදිම නිමිත්තක් නොමැති බව ඔහු දනී. ජාතියකට ආගමකට හෝ කුලයකට එරෙහිව අවි අමෝරා ගන්නට බුද්ධ ධර්මයේ කොතැනකවත් සටහන් වී නොතිබීම එහිදී ඔහුට අබැටක් තරම්වත් වැදගත් නැත......."

" .... ‍මේක මේ රටේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සුන්ට ඕන නිදහසේ ජීවත් වෙන්න. හැකිවිදියට කර්මාන්තයක් කරගෙන කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න. ඒත් මකලන්තිස්ස වාගෙ අවස්ථාවාදී නරුමයන්ට ඕන වෙළ‍ා තියෙන්නෙ ඒ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත උතසට තියල හරි තමන්ගෙ බල ලෝභී සිහිනය සැබෑ කර ගන්න. ...."

මං කථාව කියවල ඉවර නෑ. අවසානෙ කොහොම වෙයිද කියන්න මං දන්නෙ නැ. ඒත් හැමදාම හිතපු සිතුවිල්ලට මේ කථාවෙ ජීවයක් දීල කියල මට හිතුණා. කාම දේවියක් කියපු අනුලා දේවියව සාධාරණීකරණය කිරීමටත් වඩා ඉකිහාස කථාවක් ලස්සනට ප්‍රතිනිර්මාණය කිරීමටත් වඩා ඒ ඇතු‍ල‍හෙැංගුණූ මේ දේශපාලන කථාවට මං කැමතියි.  සමහර විට කථා‍ව‍ෙ අඩුවෙන්ම අවධානයට ලක්වෙන කොටස මේ ටික වෙන්න පුූළවන්. ඒත් මට හිතෙන්නෙ වැදගත්ම ටික ඒ ටික. 

මෑතකාලීන ශ්‍රී ලංකාවෙ අත්දැකීම් එක්ක හරි අපූරුවට මේ කියමන් ගැලපෙනව. 


"නූගත් අවිචාරශීලී මිනිසුන් කුපිත කිරීමට මේ බො‍රැ සිංහල බෞද්ධ හැගීම තරම් තවත් කදිම නිමිත්තක් නොමැති බව" විතරක්ම මං ආයෙත් මතක් කරනවා.

Sunday, May 22, 2016

කඩෙන් ගෙනාපු වෙසක්

මල්ලී වෙසක් කූඩුවක් අමාරුවෙන් අටවගන්න ඉගෙන ගන්නකම්ම අපිට නම් වෙසක් තිබුණෙ නෑ. ඉතින් අපේ අම්මටනම් කොහොමටත් කූඩු හදන්න බෑ. වෙසක් බලන්නත් අපිව එක්ක යන්න බැරි නිසා වෙසක් දා හවසට අම්ම කරන්නෙ අපි වෙසක් බලන්න ඕන කියල කරදර කරන්න කලින්ම “යන්ද අපි වෙසක් බලන්න ?” කියල අපෙන් අහන එක. ඉතින් අපිත් උඩ පැනල හා කීවාම අම්ම අපිත් එක්ක ගේ ඉස්සරහ පාරෙ උඩහට ඇවිදගෙන යනවා. යන ගමන් “අන්න අන්න අර දැක්කද ලස්සන වෙසක් කූඩුවක්. හරිම ලස්සනයි . අර දැක්කද අර පාට පාට නිවෙන පත්තුවෙන බල්බ්. හරිම ලස්සනයි නේද” කියල කිය කිය අපිටත් වඩා ඒවා වර්ණනා කරනවා. ඉතින් අපිටත් හරි සතුටුයි. පාර දිගේ වෙසක් බලල අපි ගෙදර එන්නෙ හරි සතුටෙන්.
ඊට සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං දැනගත්තෙ ඇත්තටම වෙසක් කියන්නෙ ගෙවල්වල එල්ලන වෙසක් කූඩුවකට බල්බ් වැලකට වඩා හරි ලස්සන දෙයක් කියලා. යන්තමට වෙසක් කූඩුවත් ගැටගහගන්න පුළුවන් වුණ දා ඉ‍‍‍දල මල්ලි හැම වෙසක් පෝයටම කූඩුවක් හදනවා. හතර පස් දෙනාම එකතුවෙලා අමාරුවෙන් ගැටගහන කූඩුව හුගක් වෙලාවට අලවන්නෙනම් මම. ඉතින් පස්සෙන් පහු මේ හැමදේම කරදරයක් වගේ දැනෙන්න පටන් ගත්ත. ඇයි වදේ මං එපැයි තනියෙම වෙසක් කූඩු අලවන්න.
ඒත් සිකුරාදා හවස ගෙදර එනකොට එක පාරටම මට මතක් වුනේ මල්ලිත් ගෙදර නෑ. හරි වැඩේ තමයි වෙන්නෙ. බැන බැන අලවන්නවත් වෙසක් කූඩුවක් මේ පාර නෑනෙ කියල. කෝමින් කෝම හරි කඩෙන් ගෙනාපු කාඩ්බෝඩ් වෙසක් කූඩු වලිනුයි බකට් වලිනුයි ඔන්න ඉතින් අපි මේ පාර ප්‍රීති වෙසක් සැමරුවා.
ඒත් ඉතින් වෙනදා වගේ හිත අස්සෙ දෝරෙ ගලන, වෙසක් පෝය දාට විතරක්ම දැනෙන මොකක්දෝ මන්දා කියාගන්න නොතේරෙන වෙසක් හැගීම මේ වෙසක් දා තිබුනෙ නෑ. සල්ලිවලට ගත්තු වෙසක්වල සැබෑ වෙසක් තිබුණෙ නෑ. බැන බැන අලවන පාට තෝරන රැළි කපන “අඩු තරමෙ මේ රැළි ටිකවත් දිගෑරගන්ඩ උදව් වෙනවකො” කියලා කෑ ගාන දඩිබිඩියෙ කූඩුව අලවන ගමන්ම “හරි මං කූඩුව අලවන්නම් අර දන්සලට ගිහින් අපිටත් මොනව හරි ගේනවකො” කියල කියන වෙසක් මේ පාර ආවෙ නෑ. ඇත්තටම කියනවනම් කියාගන්න නොතේරෙන වචනවලට පෙරලන්න බැරි අපේ සහෝදර බැදීමෙ අඩුව මේ වෙසක් මාසෙ දැනුණා.


Friday, May 6, 2016

මේ මිනිස්සුන්ගෙ ජීවිත............එයා වැරදි නෑ..........

සාලාවෙ දකුණු කෙළවරේ අපිටම වෙන් කරල තිබුණ ආසනයක මං ගිහින් වාඩි වුණා. මගෙ සගයත් මං ළගමයි. තවම ගොඩත් වෙලාව තියෙනවා හැමදේම පටන් ගන්න. මුලින්ම අපි ආගිය තොරතුරුකතාවුණා. දැන් ඉතින් කතා පෙට්ටි දෙකම වහල. මං මගෙ සුපුරුදු ස්ථාන පරීක්ෂාව පටන් ගත්තා. මෑතකදී නවීකරණය කරල තිබුණත් තාමත් මෙහි ‍‍පෞරාණික ලක්ෂණ බහුලයි. පොළොව සම්පූර්ණයෙන්ම හදල තියෙන්නෙ ලීවලින්. හැබැයි හොදට පොලිෂ් කරල නම් නෑ. ඒත් ඇවිදිනකොට එන ඩගස් ඩොගොස් සද්දෙට මං කැමතියි. උදේම කාර්යබහුල වටපිටාවෙ අතරමං වෙන මං දැන් මොහොතකට හරි ඒ සද්දෙ නැවතිල්ලෙ අහන් ඉන්න පුරුදු වෙලා.  වෙලාව පිටපිටම ‍දෙසැරයක්ම බලල තමයි මං ආයෙත් උඩ බැලුවෙ. ස්ස් ස්ස්ස් ස්ස් ස්ස්ස් සද්දෙට කැරකෙන විදුලි පංකා අතරත් මං මොහොතකට නැවතුණා.තැනින් තැන අලංකාර ලී කැටයම් සහිත සිවිලිම. බැලුවම හරි අලංකාරයි.
මේ ඔක්කොම බලන අතරෙ මං ආයෙමත් සැරයක් හැරිල වට පිට බැලුවෙ නන්නාදුනන මේ සෙනග ගොඩේ මං අදුනනම කෙනො වාඩිවෙලා ඉන්නෙ කොතනද බලන්න වගේ.ඇත්තටම එතම මගෙ කියන කවුරුත්ම නෑ. ඒත් මං ස්ථාන පරීක්ෂාවෙන් පස්සෙ පුරුද්දට වගේ එතන බලනවා. ඔහොම බලනකොට තමයි එයා ළග මගෙ ඇස්දෙක නතර වුණේ. ඔන්න එතකොටම තත්ත්පර වලින් විනාඩිවලින් කියන්න දන්නෙ නැති හුග වෙලාවකට පස්සෙ මගෙ කතාපෙට්ටිය ඇරුණා. “එයාව මං දන්නවා. මං හොදටම දන්නවා. ඒත් කොහොමද කියල මට මතක නෑනෙ.” මං කිව්වෙ මගෙ සගයට. නොහොම හරි කමක් නෑ. මගෙ කතාවෙ කථානායිකාව එයා වෙනවට නම් මුල ඉදලම මගෙ කැමැත්තක් තිබුණෙම නෑ. ඒත් ඒ එයාම තමයි.
මීට පැය ගාණකටම පස්සෙ ලියකියවිලි ගොඩක් එක්ක මට ලැබුණු ෆයිල් මිටිය ගෙදර උස්සගෙන ආවෙනම් මං බොහොම ආසාවෙන්. දන්න තේරෙන කාලෙ ඉදලම මං ආසකරපු දේවල් මං ඉගෙන ගත්ත දේවල් වලින්  වැඩත් ගන්න කාලෙ ඇවිල්ලා.
ඒත් මං මුළ ඉදලම සැක කරපු විදියටම මගෙ අතට ඇවිත් තිබුණෙ එයාගෙ කතාව.
ඔව් මං එයාගෙ කතාව කියවන්න ගත්තෙ සිකුරාද රෑ. හැබැයි නෙසුරාද රෑත් කියවල ඉරිද දවසෙමත් කියවල මං ඉරිදා රෑ අමාරුවෙන් එයාගෙ කතාව කියවල ඉවර කළා. එතකොට මට තිබුණෙ ලොකු ඔලුවෙ කැක්කුමක්. මට කතාව ඇතුළෙන් එයාගෙ රූපෙ මැවි මැවි පෙනුණ. එයා කතා කරන හැටි, හිනාවෙන හැටි, මේ හැමදෙයක්ම අතරින් ඇයි මෙහෙම වුණේ මං ආයෙ ආයෙම කල්පනා කළා. අන්තිමේදි උත්තරයක් නැති හිතට වද දෙන ප්‍රශ්නයක් එක්ක නින්දට ගිය මං ආයෙමත් සදුද උදේ මහා බරක් එක්ක නැගිට්ටා. ඇයි මෙහෙම වූණේ.
මට උත්තරයක් ඕනවුණා. ඒත් ඒකට මට හරි උත්තරයක් ලැබුණෙ නෑ. ඒක ඒකපාර්ෂවික උත්තරයක් . මං ඒක පිළිගන්න කැමති වුණේ නෑ. මං අල්ප්‍රාණව දන්න මේ සාස්තරේ ඇතුලෙ කොහෙවත්ම කියන්නෙ නැති තැනකින් උපුටගත්තු හරි අපූරු කවුන්ටර් ආර්ගියුමන්ට් එකක් තමයි මට තිබුණෙ. ඒ ආර්ගියුමන්ට් එක ඇතුළෙ එයාට වගේම මං දන්න නොදන්න  හැමෝටම චෝදනා එල්ල වුණා. ප්‍රොසීඩියර් එකක් දෙකක් ස්කිප් කරල මං කෙලින්ම ආවෙ හරස් ප්‍රශ්න වටයට.
“ජීවිතේ අවුරුදු ගානක්ම එකට ජීවත් වෙලා, සැප දුක වගේම හැම රහසක්ම බෙදාගෙන අන්තිමේට මෙහෙම ලෝකෙම ඉස්සරහ එක්කෙනෙකුට එක්කෙනෙක් වැරදිකාරයො කරගෙන ගතු කියන්න මිනිස්සුන්ට පුළුවන්ද?”
මට උත්තරයක් ලැබුණෙ නෑ. ලැබුණෙ උපදෙසක්.
“ අපි ජීවත් වෙන මේ සමාජෙ සර්ව සම්පුර්ණ නෑ. මිනිස්සුන්ට විවිධාකාර ප්‍රශ්න තියෙනවා. තමන්ට විසදගන්න බැරි ප්‍රශ්නයක් අරගෙනයි එයාල අපි ළගට එන්නෙ. එතනදි හුගක් සංවේදී වෙනවට වඩා මේ ප්‍රශ්නෙ විසදගන්න අපි එයාලට උදව් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ ජීවිත ............”
එයාගෙ කතාව මං ඔයාට සම්පූර්ණෙන්ම කියන්නෙ නෑ. ලෝකෙම ඉස්සරහ ගතු කියාගන්න එයාලට පුළුවන් වුණාට පරෙස්සමටවත් වචන ගලපල ඒ කතාව ඔයාට කියන්න මං දක්ෂ නෑ. ඒ කාලෙ මෙහෙම කතා පොතින් කියවල මං හිනා වෙනවා. කාගෙවත් දේවල් මට මොකටද කියලත් හිතනවා. අන්තිමට අන්වර්ථ නාමෙකුත් දාගෙන ඒක මතක තියාගෙන විභාගෙට ලියල මං ගෙදර එනවා. මේ මිනිස්සුන්ගෙ ජීවිත‍‍........තේරුම් ගන්න හරිම අමාරුයි. සසැලෙන හිතක් එක්ක මේ ගමන යන්න අමාරුයි. තියරියෙන් දකින මනුස්ස ජීවිත හඩන දොඩන ගතු කියන දුටු තැන අහක බලන රවන ගොරවන ආයෙමත් සැරයක් යන්න කලින් හොරැහින් හරි බලල යන මේ මිනිස්සුන්ගෙ ප්‍රැක්ටිකල් ජීවිත ඇතුළෙ නෑ....

සසැලෙන හිතක් තියාගෙම මේ ගමන යන්න හරි අමාරුයි.........


එයා වැරදි වෙන්න බෑ. මං මගෙ ඒකපාක්ෂික තීන්දු ප්‍රකාශෙ නිකුත් කළා. 

Thursday, May 5, 2016

අපි මුණගැහෙයි , එකම තැනකදි මුණගැහෙයි

මං ලියන හැම කතාවකම විෂය වෙන්නේ ප්‍රේමය. දන්නෙ නෑ මං ලියන අකුරක් ගානෙ ඔයාව මේ තරමටම අමතක කරන්න බැරි ඇයි කියල. ඒ කෝම වුණත් අමතක වෙන්න කලින් මතක් වුණ වෙලේ මං කොහෙදි හරි කියවපු මෙන්න මේ ටික අකුරු කරල යන්න මට ඕන වුණේ.

හෙට පිපෙන මල් සේරම අද රැම
කට කොනින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
 දත් පෙනෙන්නේ තවමත් ටිකයි
හෙටත් අද වගේනම් ඉතින්
 අපි කොහේ හෝ තැන තැන ඉදියි
එහෙත් එය ඇත්තක් නෙවෙයි
කොහේදි හරි නොවෙයි
 එකම තැනකදි මුණගැහෙයි


Tuesday, April 19, 2016

කෑ ගහන හිතේ ඝෝෂාව…

ඉපල්ව ඉරිතැලී ගිය ගම්දොරේ පොළොවට සේම අව්කාෂ්ටකයෙන් නැහැවෙන දූලි පිරි කොළඹ ගෙන්දගම් පොළොවටද වැහි අල්ලක දෙකක ආශිර්වාදය ලැබෙන්නට පටන් ගත්තාම පමණි. ඒත් සාරි අඳින මගෙ අලුත් රස්සාවටනම් පොඩිම පොඩි කරදරයක්. යාර හයක් පටලවගෙන එහෙට මෙහෙට දුවන එක තාම මට පුරුදු නෑ වැඩිය.
කෝමින් කෝම හරි ඔපීසියෙන් ටිකක් කළින් පැනගත්තා. බස් හෝල්ට් එකනම් ළඟම නිසා සිරි සිරි පොදේ මං ගේට්ටුවත් වහගෙනම බස් එකට ගොඩවෙනකම්ම බස් එක නවත්තගෙනම හිටියා. යාන්තම් ඒකත් හරි. කලබලෙන් පිඹගෙන ආපු බස් එකෙන් බැහැල දුවගෙන වගේ යනකොටම මෙන්න කෝච්චියත් ඇවිල්ලා. මොනව කරන්නද ඉතින් ? තව හිටියොත් යන්න රෑ වෙනවා. වැහි අඳුරත් එක්ක යන්න තිබුණු හදිසිය තව වැඩි වුණා. ඒ නිසාම තමයි මේ පොල්ගහවෙල කෝච්චියද කියල අහන ගමන්ම ටිකක් සැපට යන්න හිතාගෙන මං ඉස්සරහට ඇවිදගෙන ගියෙ. මෙන්න මෙයා යන්න ලෑස්තිය . හූහඬක් දානව. මං නතර වුණේ දෙවෙනි පංතියේ මැදිරියක් ළග. තව හිටියොත් මාව මෙහෙම මෙතනම දාල කෝච්චියත් යන්න යයි.
දඩිබිඩියෙ නැගල සෙනග පීරගෙන කෝම හරි තුන්වෙනි පංතියටම ආවා. පුදුමාකාර සෙනගක්. කොටු‍වෙන්ම මේම නම් මරදානෙන් තව වැඩි වෙයි. මේ යාර හය පටලවාගෙන තව ඉන්නට බැරිය. යාරයක් විතර එහායින් කවුරුන්දෝ බසින්නට සූදානම්ය. ආසන පෙරළියක් වගෙයි මං ඒක දැක්කෙ. කෝම වුණත් එයා බැස්ස.  ලෝබකමේ බැරිය. ඒත් දුර වැඩිය. කවුරු හරි වාඩිවෙයි. මං මගෙ හිත හදාගත්තා. හිරවෙන තෙරපෙන ගැහැණු පිරිමි අතර යාර හයේ වැදගත් පෙනුමට ඔන්න අහම්බෙන් වගේ මුල්තැන ආවා.  “මිස් වාඩිවෙනවද?” මොකටද බෑ කියන්නෙ මං සීට් එකේ වාඩි වුණා නෙවෙයි ඒකට පැන්නා.
ඉස්සරහ පෙම් යුවලක්. සියගණනක් හිරවෙන තෙරපෙන සෙනග අතර කොනටම වෙන්න වාඩිවෙලා හිටපු මේ දෙන්න එයාලගෙම ලෝකෙක. ඇය ඔහුගෙ බාහුවක් දෑතින්ම බදාගෙන.හරියට ළඟම ඉන්න කවුරු හරි ඇදල අරගනියි කියල බයට වගේ.
මට මතක් වුණේ ඔයාවමයි.  “මාත් එන්නද ඔයත් එක්ක කෝච්චියෙන් යන්න?” මෙහෙම ඇහුවෙ ඔයා. හිත පුරාම කැමති වුණත් ඒ කැමැත්ත හිත යටම හංගගෙන “ඔයාට පුඏවන්ද කෝච්චියේ යන්න?” මං ඔයාගෙන් ඇහුවා. ඒ EDEX බලල එන ගමන්. ( ඒ ස්ටිකර් දෙකයි  සීසන් තියෙන මට නොදන්නකමට ඔයා ගත්ත ටිකට් එකයි තාම මගෙ ළ පරෙස්සමට තියෙනවා.)
පස්සෙන් පහු මං ඔයාව කෝච්චියට නග්ගගත්තෙ බලෙන්ම වගේ. කෝම වුණත් මේ දෙන්න එකතුවෙලා හිත අස්සෙ ඉසියුම්ම තැන්වල හංගගෙන හිටපු ඔයා ගැන මගෙ මතක එකින් එක හාරවුස්සනවා. ඒත් මට දැනෙන්නෙ මගෙ හිත පහුරු ගානවා වගේ. දවසම මහන්සිවෙලා ලොකු පොත් , ෆයිල් අතර දුවපු ඇස්දෙක විඩාඅරින මොහොතෙ මෙන්න පෙම්වතාට යන්තමට ඇහැ පියවෙනවා.  ඒ නින්දට බාධා නොකරන මේ යුවතිය කඩාවැටෙන හිස උරහිසට බරකරල කවුඏවෙන් එපිට බලනවා.
ඩතු ඩුකු ඩකු ඩුකු ඩකස් ටකස්… කෝච්චිය අනවරත ගමනක . හෝගාන හුළං සද්දෙත් එක්ක එකතු වුණාම මහා ඝෝසාවක් විතරමයි. එකින් එක ඇහෙන සද්ද වෙන් කරල අඳුරගන්නත් බැරි තරම්. හරියටම මේ මොහොතෙ මගෙ හිතත් මේ වගේ. මහා ඝෝසාවක් විතරමයි. එකින් එක අඳුරගෙන වෙන්කරල පැත්තකින් පිළිවෙළට ගොඩගහන්න බැරි සිතුවිලි ජාලයක් හිත අස්සෙ. දරාගන්නත් බැරි තරමයි. ගැඹුරු හුස්මත් එක්ක පපුව කීපවරක් පිම්බිලා පිම්බිලා අන්තිමට දරාගන්න බැරි වැඩි හරිය දිග සුසුමකින් පිටවෙලා එළියට ගියා.   
මේ ටික හැමදාම මේමයි. කෙලවර වෙන්නෙ ඇස් දිළිසවල බව දන්න නිසාමයි මම කවුළුවෙන් පිටත බලා ගත්තේ. තාම මහ වර්ෂාව ඇද වැටෙනවා. වහල දාපු වීදුරු ජනේලෙ තුනී මීදුම් පටලයක් එතිල. පසුකරන් යන හැමදේම ඡායාවන් වගේ බොඳවෙලා. ඇත්තටම ඒමද නැත්තම් මට පේන හැටිද ? මං හෙමිහිට අතගාලත් බැලුවා. (දැන් දැන් නිතරම මහ වරුසාවක් නැතත්   කවුළුවෙන් එපිට  මට පේන්නෙ බොඳවෙලා. )  
ඔන්න දැන් කෝච්චිය නතර වුණා . හිස්ම හිස් නිහැඬියාවක්. ඩකු ඩුකු සද්දෙ නෑ. හිරවුණු තෙරපුණු සෙනග නෑ. පෙම්යුවලත් බැහැල ගිහිල්ල. නිහැඬියාවත් එක්කම මෝදු වෙන රෑ අඳුර වැහි අඳුරත් එක්ක හාද වෙලා.  මගෙ හිතත් මොහොතකට ගොළු වුණා. මං හිමීට එබිකම් කරල බැලුවා. ම්හු…ඒ ගමන  මුකුත්ම පේන්න නෑ. රෑ අඳුරට එකතු වෙච්ච වැහි අඳුර  විතරමයි.
ආයෙමත් ඩකු ඩුකුව පටන් ගත්තා. හෝගාන සද්දෙත් එක්කම. කිසි හදිසියක් නෑ. මං වගේම දවසේ විඩාව නිවන කෝච්චිය. නැවතිල්ලේ සිතුවිල්ලේ ගමන ගොස් අන්තිමේදි ආයෙමත් නැවතුණා. මං බැහැගත්තා. ආයෙමත් යාර හය කොනකින් උස්සගෙන හැල්මෙ යන ගමන. මොහොතකට ඔයා හිත අස්සෙ හිටියෙ නෑ. බස් එකේ නැගල මං ගෙදර ආවා. වැහි අඳුරත් එක්ක කැලතුණු රෑ අඳුර පිරැණු අදවගේ දවසක හිතම මේ වගේ කළුවර වුණ බව මං මටම කියාගත්තා.

කාෂ්ටකේට ඉර පායන කොළඹදිත් තුරුලතා සෙවන යටින් මං ඇවිදින ගම්මැද්දෙදිත් හැමවෙලේම ඔයාගෙ මතක මගෙ හිත ළඟ. මං මේ කෝච්චිය වගේ අනවරත ගමනක් .හැල්මෙ දුවනවා. මොහොතකට විඩා නිවනවා. ආයෙමත් දුවනවා.      

Friday, April 15, 2016

හැරයන්නට ඉඩ දුන්නාම පමණි......

“ඇතැම් විට ජීවිතයේ අපට කළ හැකි ප්‍රේමණියම පරිත්‍යාගය හැරදමා යන්නට ඉඩ ලබා දීමය.”

ජීවිතය යනු මහා පුදුමාකාර දෙයකි. ඹව් ඔබේ ජීවිතයේ බොහෝ වාරයක් මේ වචන දෙක තුන ඔබ අසා ඇත. එහෙත් ‍ජීවිතය අත්විදින මොහොතක් පාසාම මට හැගෙනා දෙය ඔබට නොකියා මට බැරිය. සිතට නැගෙනා සිතිවිලි ක්ෂණයක් පාසා ජීවිතය පුදුමාකාර බව මට හැගෙයි. හැබැයි ඒ මේ ළගකදි සිටය.
සිතට නැගෙන බොහෝ දේ මා සංස්කරණය නොකරම කීවානම්  ඒ ඔබ සමග පමණමය. ඉදින් ජීවිතය පුදුමාකාර දෙයක් දැයි සිතන්නට නම් මට කාලයක් තිබුණේම නැත. අදටත් වෙනසක් නැතිව සෑම මොහොතකම මා යමක් සිතන්නේනම් ඒ සිතිවිල්ලෙහි ඔබ සිටියි. නුඔට කියන්නට ඇති බොහෝ දේ හුදු සිතිවිල්ලක්ම කර සිත යට හංගාගන්නට මා දැන් දනිමි. නුඔට කිසිදිනක ඒවා කියන්නට සිදු නොවන බවද මා දැන් දනිමි.
ඉදින් දැන් මම නුඔ ගැන සිතමින්ම ජීවිතයේ පුදුමාකාර බව අත්විදිමි. මා සිතා සිටියේ නුඔ මගේම පමණක්ය කියාය. නැත. එය එසේ සිදුවූයේ නැත. නූඔ මගේ වන බව දැන් කවුරුත් කියන්නේද නැත. ඉදින් ජීවිතයේ වරක් හිමිවන්නටම ගොස් අහිමිවූ නුඔ ගැන සිතමින් ජීවිතයේ පුදුමාකාරබව මම අත්විදිමි.
ඔව් මම නුඔට ප්‍රේම කරමි. බොහෝ සෙයින් ප්‍රේම කරමි. එහෙත් නුඔ පරිත්‍යාග කරන්නටනම් තුන් හිතකවත් තිබුනේම නැති බව ඉදුරාම කියමි. එහෙත් එය සැබෑවකි. මා නුඔට යන්නට ඉඩ හැරියෙමි. දහස් වර හඩමි. පසු තැවෙමි. සිතට නැගෙනා බොහෝ දේ දැන් කියන්නට කෙනෙක් නැත.

වරෙක මම පරෙස්සමට වචන ගලපමි. දහස්වර සිතමි. සීරැවට ගලපාගත් වචන හද බිතෙහි ලියා යළි යළිත් මකා දමමි. ඉරා දැමූ අතීතයකින් දැන් ඔබට ඵලක් නැත. යළිත් කියමි. මා නුඔව පරිත්‍යාග කළේ නම් නැත. හැර දමා යන්නට ඉඩ දුන්නාම පමණි. හඩමි වැළපෙමි. තැවෙමි. එපමණය.

Tuesday, April 12, 2016

අම්මා......

මේ කියන්නට යන්නේ මීට වසර විස්සකට පමණ පෙරාතුව සිටම හිතේ කැටිගැහුණ සිතිවිලි කීපයක් කාලයත් එක්කම වැඩුණු හැටි ගැනය.  පහුගියදින කීපයක් තිස්සේම බොහෝ දේ කියෙව්වෙමි. සිතට නැගෙනා දහසක් සිතිවිලි අතර කුමක් කියන්නේදැයි තෝර තෝරා පැත්‍තකින් තැබුවෙමි. කුමක් කියන්නටදැයි තවම පැහැදිලි නැති මුත් මම කියමි. සිතට නැගෙනා ඕනෑම දෙයක් කියන්නට අදිටන් කළෙමි.
මගේ අම්මා වසර විස්සක්ම දුෂ්කර ක්‍රියා කළාය. කීප වසක් නොව වසර විස්සක්මය.ඒ මගේ තාත්තා අවසන් හුස්ම හෙළු දින සිටය. සැබෑවකි. ඈ ඔබ කියවන බොහෝ කතාවල මෙන් බොහෝ දිළිදු ගැහැණියක නොවූවාය. එහෙත් කියමි. ඇය දුෂ්කර ක්‍රියා කළාය.
පියෙකුගේ රැකවරණ නොමැතිව ගැහැණු දරුවන් තිදෙනෙකුටම හදාවඩාගැනීම සැබැවින්ම දුෂ්කර ක්‍රියාවකි. ඔව් ඕ රජයේ රැකියාවක් කළ ‍‍ගෳ‍රවනීය ගැහැණියකි. එහෙත් ඈ ජීවිතයේ අපේ බර තනිව කරට ගත්තාය. මවකගේ මෙන්ම පියෙකුගේද යුතුකම් මැනවින් සැපිරුවාය.
දැන් ඇගේ ජීවිතයේ වසන්ත සමයයි. මහා වැසි සේම නියං සමයද අහවරයි. ඈ ජීවිතේ සැදෑ සමය විදින්නීය. ඒ දරු සතර දෙ‍නෙක්ම ලෝකයට දායාද කොට නැණ නුවණ පාදා නිසි මං කියා දීමේ නොනිමි ප්‍රීතියත් සමගය.
මෑත දිනයකදී මම නව රැකියාවකට ගියෙමි.  නම ගම පවුලේ විස්තර සියල්ල අසන ලදි. පුරුදු ලෙසටම මෙවරද කතාව එක තැනක නැවතිණි.  “පියා ජීවතුන් අතර නැත”. ඒ කරුණාවන්ත මිනිසාට පින් දෙමි.  ඔහු මා අපහසුවට පත් කළේ නැත. නමුදු ඔහු යමක් කීවේය. “නු‍‍‍‍ෙඕ අම්මා මහා ධෛර්යවන්ත ගැහැණියකි” ඔව් මම දනිමි. ඈ මහා ධෛර්යවන්ත ගැහැණියකි. ජීවන සටනේ නොපැරදුන ඉන්ද්‍රඛීලයකි.
කෑ ගසා කියන්නට අවැසිය. ඔව් සැබැවින්ම ඈ ආ ගමන සුන්දර නොවන්නට ඇත. ඈ අප වෙනුවෙන් බොහෝ දේ ඉවසන්නට ද ඇත.ගමන් මග කෙළවර ඈ පවා නොදුටු විසල් ලෝකයක් ඈ මා ඉදිරියේ මවා පෑවාය. සිහිනයක් කොට හීන් සැරේ දළු ලා වැඩුණු සිතුවිලි එකින් එක සෑබෑවක් කොට හැබැහින්ම දකින්නට මට දිරිය සවිය දුන්නාය. ඇදවැටුණු සැම මොහොතකම අත දුන්නී දිරි දුන්නී ඕය.
ඉදින් ඇගේ සවියෙන් ලෝකය දකින මා කියන බොහෝ දෑ දැන් ඈ අසා සිටින්නීය. හිමි හිමින් අඩී තියා වැටි වැටී ඇවිදින, හඩන, සිනාසෙන ළදැරියක  සුරතල් කරමින් සිනාසෙන මවක සේම සතුටින් මා වටා නැගුණු විසල් ලෝකය ගැන මා කියන ඇතැම් දේ විස්මයෙන් අසා සිටින්නීය. ඉද හිටක දවසක මා මහා දැනමුත්තියක යැයි සිතමින් ඔවදන්ද පතන්තීය.
එහෙත් කියමි. විසල් ලෝකය මත සීමා මායිම් සලකුණු කර දී ඈ මා උදෙසා තැනූ ලෝකය තුළ  මා කවරෙකු වුවද මේ උත්තම ගැහැණිය ඉදිරියේ මා උදක්ම සුහුඹුල්ලකි. ඇගෙන් ලද පන්නරය තුළින් ලෝකය බිදක් ස්පර්ශ කර බැළුවාම පමණි. ඈ නොවන්නට මේ ලියවිල්ල ලියන්නටද මට වරම් නොලැබෙන බවද සැබෑය.
“ ඔයා මැරෙයි කියල ඇත්තටම මට බය හිතුණා.” වරක මම කියමි. “ මා එසේ මියෙන්නේ නැත. මට 82ක් ආයුෂ ති‍යෙනවා.” ඈ කියන්නීය. සැනසුම් සුසුම් හෙළමි. සත්තකි. මා මියෙන තුරුද ඇගේ සෙවණේ හිදින්නට මට අවැසිය. මා වට කොට නැගුණු මහා තුගු පවුරේ හිමිකාරිය ඈය. ඒ තුළ මම සුරක්ෂිතව හිදිමි. සිතිවිල්ල පවා සුවදායකය. ඉදින් ඇගෙන් තොර ලෝකයක් ගැන සිතන්නටද නොහේ.

“අප වැනි දරුවන් ලබන්නට නුඹ බොහෝ පින් කර ඇතිවා විය යුතුය.” මා විහිළුවට මෙන් ඇයට කියමි. එසේ වුවද කිසිදු දිනක ඈ එයම පෙරලා අපට නොකීවාය. අපරිමිත ප්‍රේමයේ මිල නියම නොකළාය. කිසිදු ලෙසකින් අයිතිවාසිකම් නොකිවාය. ඈ වෙසෙසින් තනා දුන් ලෝකයේ රිසි සේ සරන්නට දී ඒ දෙස බලා හිද අප්‍රමාණව ප්‍රීති වන්නීය. 

Tuesday, April 5, 2016

කුවේනිගෙ හිත







විජය ගහපු 
ගල් පාරට
රිදුනෙ කුවේනිගෙ හිත
විජය විජේ වෙළා
 කුවේනි කමනි වෙලා
ආයෙ ආයෙමත් ඉපදිලා
කුවේනිගෙ හිත
 තාමත්........
විජයගෙ ගල් පාරට රිදෙනවා......

Sunday, April 3, 2016

මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේමයි......

මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේමයි. පැහැයෙන් හැඩයෙන් වෙනස් බව නම් සැබෑයි. ඒත් නොකියාම බෑ. මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේමයි.
කාලයක් තිස්සෙම හිත යට ගුලිකරන් විඳින විඳවන සිතුවිලි ගොන්නක්ම බෝස් ගාල හිත පුරා පත්තු වෙනකොට ඇහැට ආවෙ සතුටු කඳුලක්ද නැත්තම් හැම ‍මොහොතකම හිත මත්තට වාන් දාන කඳුළු තරංගයක්ද කියලවත් ඇත්තමයි මට හිතාගන්න බැරි වුණා. හරියටම ඒ මොහොතෙම තමයි ඕන එකක් කියල  Thankyou කියන ගමන්ම මෝදුවෙන කුළක් අමාරුවෙන් මං හංග ගත්‍‍තෙ.  
බොහොම කාලෙකට ඉස්සර මේ විදියටම ඔතල බොහොම අමාරැවෙන් පරිස්සම් කරගෙන ආව පුංචිම පුංචි දිග තෑග්ගක් ඔයා මං අතේ තිබ්බ මට හොට මතකයි. (ඒ විනාඩි දහයෙන් කොළඹට එන ඔයාගෙ ඔරලෝසුවේ පොඩි කට්ට රවුමක්ම කැරකෙනකන් බලන් ඉල මගෙ ඉවසීමේ රතු සීමාව පනින්න ඔන්න මෙන්න තියෙද්දි දුවගෙන ආපු ඔයාගෙ ඇස් දෙක තාරුකා දෙකක් වගේ දිළිසි දිළිසි අදටත් පුරුද්දට වගේ හිස්ම හිස් මගෙ අත දිහා බලන ගමන්).එදත් අද වගේම හොට හයියෙන් හොලවල "මොකක්ද මේ?" කියල මං ඔයාගෙන් ඇහුව මට හොට මතකයි. කොහොමටවත් ඔයා ඉස්සරහ දිගහරින තෑගි මල්ල දිහා බලන්න අකමැති වුණ ඔයාගෙ තෑග්ග කෝච්චියට (මං පයින් යන වේගෙන් දුවන) නැග්ග ගමන් ලිහල බලපු මට වැටහුණු, ඔයා වචනෙකින්වත් නොකියපු දාහක් දේවල් ආයෙමත් මතක්වෙයි කියන බයටමයි ‍පෙරැත්ත කරද්දිත් ලිහල බලන්න කියපු මේ පුංචි තෑග්ග කොහොමටවත් සෙනග පිරුණු ඒ පැසේජයේ දිග නාරින්න මං පරිස්සම් වුණේ.
ත් අන්තිමට මට මේ තෑග්ග දිග අරින්නම වුණා. ඔයා වගේම කාගයක් මං ළින් හිටපු , මට ආදරේ කරපු ලොකුම ලොකු හිත් දෙකක අයිතිකාරියො දෙන්නෙක්ම මට සතුටු කරන්න වුණ නිසා (ඇත්තටම ඒ තමයි මට කරන්න ඉතිරිවෙලා තිබුණු එකම දේ). පුංචිම පුංචි හුරුබුහුටි ඔරලෝසුවක්....( හරියටම ඔයා හිතුව වගේම පුරුද්දට වගේ හැමදාම හිස් මගෙ අතට වැඩියෙන්ම වටින දේ).
ස්වලට නැගුණු කුළු බිංදු දෙක බොරු හිනාවක අමාරුවෙන් දියකරල ඇත්තමයි මං ඒගොල්ලන්වත් රැවැට්ටුවා. ඒ තෑග්ගට මං ඕනවටත් වැඩියෙන් කැමති වුණ නිසා. හරියටම කිව්වොතින් මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේම නිසා. පාටයි හැඩයයි විතරමයි වෙනස්.....(ආහ්... තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා (ඇත්තටම මං ඒක අමතක කළා) ඔයාගෙ කතාකරන ඇස් දෙක විතරමයි එතන අඩුවකට තිබුණෙ)
යා යන්න එපා අයියො.... මං ඔයාට අන්තිමට කියපු වචන ටික (හරියටම මේ වගේ ඇහුණෙ නැති වුණත් මට ඇත්තටම කියාගන්න ඕන වුණ දේ), මට ඇහෙද්දිමයි එදා ඔයා වගේම හිත ගලක් කරගෙන මං එතනින් ආවේ. ආයෙමත් හැරිලවත් නොබැලුවෙ මට තිබුණ හදිස්සියටනම් නෙවෙයි . ඇත්තමයි.
ත් එක දෙයක් නම් මං හොට දන්නව. දැන් දැන් ඉහිටල අමාරුවෙන් හිනාවෙන මගෙ ජීවිතේ සතුටුම දවස්වලදි මේ ඔරලෝසුවත් මගෙ අතේ තියේවි. (අනිත් දවස්වලට හැමදාම පුරුද්ට වගේ මගෙ අත හිස්ම හිස්) සෙන පිරුණු කෝච්චියකට බස් එකකට නගින්නම වුණාම මේ ඔරලෝසුවත් ඉක්මනටම ගලවල බෑග්එකේ ඇතුලෙම සාක්කුවකට දාල හරියටම තියෙනවද කියල සැක හැරලම දැනගන්න අතගාලත් බලාවි. (මම කොහෙත්ම නොහිතපු මොහොතක නැතිවුණ ඔයා වගේම මේ ඔරලෝසුවත් නැතිවෙයි කියල මට හුක් බයයි. ඇත්තටම මට හැමදාටම ළ තියාගන්න ඕනවුණ දේවල් නැතිකරගන්න මං දැන් බොහොම ලෝබයි.)
හුගිය විසිපස් වසක ගෙවුණු මගෙ ජීවිතේ සුන්දරම මතක ටික හරියටම දෙකට කපල තරාදියකට දැම්මොත් මේ ඔරලෝසුව තියෙන පැත්ත බාගෙකට වඩා ටිකක් බර වැඩියි.මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේමයි. පාටයි හැඩයයි විතරමයි වෙනස්.






Wednesday, March 30, 2016



දුකට සතුටට
 හඩන දෙකටම 
කදුළු ‍මෙපමණ 
මටම ඇයි තව

Tuesday, March 29, 2016

අම්මලා මෙහෙමයි


x

වෙන්ව ගිය නුඔට........



කෑ ගහන හිත


කාලයක් තිස්සෙම හිතේ ගුලිකරගෙන හිටපු හීන කියාගන්න බැරිව තටු අකුලගත්තු හිතුවිලි වචක කරල ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න මට බල කරපු ආදරණිය හදවතකට පින් දීල ඔන්න මමත් සයිබරේට එකතු වුණා.  ලෝකෙටම ඇහෙන්න කෑ ගහල  තනියම හඩන හිත හෑල්ලු කරගෙන හිනාවෙන්න මට ඕනෙ.