Tuesday, April 12, 2016

අම්මා......

මේ කියන්නට යන්නේ මීට වසර විස්සකට පමණ පෙරාතුව සිටම හිතේ කැටිගැහුණ සිතිවිලි කීපයක් කාලයත් එක්කම වැඩුණු හැටි ගැනය.  පහුගියදින කීපයක් තිස්සේම බොහෝ දේ කියෙව්වෙමි. සිතට නැගෙනා දහසක් සිතිවිලි අතර කුමක් කියන්නේදැයි තෝර තෝරා පැත්‍තකින් තැබුවෙමි. කුමක් කියන්නටදැයි තවම පැහැදිලි නැති මුත් මම කියමි. සිතට නැගෙනා ඕනෑම දෙයක් කියන්නට අදිටන් කළෙමි.
මගේ අම්මා වසර විස්සක්ම දුෂ්කර ක්‍රියා කළාය. කීප වසක් නොව වසර විස්සක්මය.ඒ මගේ තාත්තා අවසන් හුස්ම හෙළු දින සිටය. සැබෑවකි. ඈ ඔබ කියවන බොහෝ කතාවල මෙන් බොහෝ දිළිදු ගැහැණියක නොවූවාය. එහෙත් කියමි. ඇය දුෂ්කර ක්‍රියා කළාය.
පියෙකුගේ රැකවරණ නොමැතිව ගැහැණු දරුවන් තිදෙනෙකුටම හදාවඩාගැනීම සැබැවින්ම දුෂ්කර ක්‍රියාවකි. ඔව් ඕ රජයේ රැකියාවක් කළ ‍‍ගෳ‍රවනීය ගැහැණියකි. එහෙත් ඈ ජීවිතයේ අපේ බර තනිව කරට ගත්තාය. මවකගේ මෙන්ම පියෙකුගේද යුතුකම් මැනවින් සැපිරුවාය.
දැන් ඇගේ ජීවිතයේ වසන්ත සමයයි. මහා වැසි සේම නියං සමයද අහවරයි. ඈ ජීවිතේ සැදෑ සමය විදින්නීය. ඒ දරු සතර දෙ‍නෙක්ම ලෝකයට දායාද කොට නැණ නුවණ පාදා නිසි මං කියා දීමේ නොනිමි ප්‍රීතියත් සමගය.
මෑත දිනයකදී මම නව රැකියාවකට ගියෙමි.  නම ගම පවුලේ විස්තර සියල්ල අසන ලදි. පුරුදු ලෙසටම මෙවරද කතාව එක තැනක නැවතිණි.  “පියා ජීවතුන් අතර නැත”. ඒ කරුණාවන්ත මිනිසාට පින් දෙමි.  ඔහු මා අපහසුවට පත් කළේ නැත. නමුදු ඔහු යමක් කීවේය. “නු‍‍‍‍ෙඕ අම්මා මහා ධෛර්යවන්ත ගැහැණියකි” ඔව් මම දනිමි. ඈ මහා ධෛර්යවන්ත ගැහැණියකි. ජීවන සටනේ නොපැරදුන ඉන්ද්‍රඛීලයකි.
කෑ ගසා කියන්නට අවැසිය. ඔව් සැබැවින්ම ඈ ආ ගමන සුන්දර නොවන්නට ඇත. ඈ අප වෙනුවෙන් බොහෝ දේ ඉවසන්නට ද ඇත.ගමන් මග කෙළවර ඈ පවා නොදුටු විසල් ලෝකයක් ඈ මා ඉදිරියේ මවා පෑවාය. සිහිනයක් කොට හීන් සැරේ දළු ලා වැඩුණු සිතුවිලි එකින් එක සෑබෑවක් කොට හැබැහින්ම දකින්නට මට දිරිය සවිය දුන්නාය. ඇදවැටුණු සැම මොහොතකම අත දුන්නී දිරි දුන්නී ඕය.
ඉදින් ඇගේ සවියෙන් ලෝකය දකින මා කියන බොහෝ දෑ දැන් ඈ අසා සිටින්නීය. හිමි හිමින් අඩී තියා වැටි වැටී ඇවිදින, හඩන, සිනාසෙන ළදැරියක  සුරතල් කරමින් සිනාසෙන මවක සේම සතුටින් මා වටා නැගුණු විසල් ලෝකය ගැන මා කියන ඇතැම් දේ විස්මයෙන් අසා සිටින්නීය. ඉද හිටක දවසක මා මහා දැනමුත්තියක යැයි සිතමින් ඔවදන්ද පතන්තීය.
එහෙත් කියමි. විසල් ලෝකය මත සීමා මායිම් සලකුණු කර දී ඈ මා උදෙසා තැනූ ලෝකය තුළ  මා කවරෙකු වුවද මේ උත්තම ගැහැණිය ඉදිරියේ මා උදක්ම සුහුඹුල්ලකි. ඇගෙන් ලද පන්නරය තුළින් ලෝකය බිදක් ස්පර්ශ කර බැළුවාම පමණි. ඈ නොවන්නට මේ ලියවිල්ල ලියන්නටද මට වරම් නොලැබෙන බවද සැබෑය.
“ ඔයා මැරෙයි කියල ඇත්තටම මට බය හිතුණා.” වරක මම කියමි. “ මා එසේ මියෙන්නේ නැත. මට 82ක් ආයුෂ ති‍යෙනවා.” ඈ කියන්නීය. සැනසුම් සුසුම් හෙළමි. සත්තකි. මා මියෙන තුරුද ඇගේ සෙවණේ හිදින්නට මට අවැසිය. මා වට කොට නැගුණු මහා තුගු පවුරේ හිමිකාරිය ඈය. ඒ තුළ මම සුරක්ෂිතව හිදිමි. සිතිවිල්ල පවා සුවදායකය. ඉදින් ඇගෙන් තොර ලෝකයක් ගැන සිතන්නටද නොහේ.

“අප වැනි දරුවන් ලබන්නට නුඹ බොහෝ පින් කර ඇතිවා විය යුතුය.” මා විහිළුවට මෙන් ඇයට කියමි. එසේ වුවද කිසිදු දිනක ඈ එයම පෙරලා අපට නොකීවාය. අපරිමිත ප්‍රේමයේ මිල නියම නොකළාය. කිසිදු ලෙසකින් අයිතිවාසිකම් නොකිවාය. ඈ වෙසෙසින් තනා දුන් ලෝකයේ රිසි සේ සරන්නට දී ඒ දෙස බලා හිද අප්‍රමාණව ප්‍රීති වන්නීය. 

2 comments:

  1. කමෙන්ට් දානවිදිහ හදන්න

    ReplyDelete
  2. මාරම ලස්සනයි අරුණි. මට මගෙ අම්ම මතක් වුණා. ඔයාට ලස්සනට ලියන්න පුලුවන්. දිගටම ලියන්න. අටමා අයියා කොමෙන්ට් වල දාන අඩුපාඩු හදාගන්න. ප්‍රොෆයිල් නම, පින්තූරෙ හදාගෙන ඩිගටම අනිත් අයට කොමෙන්ට් කරන්න.

    ReplyDelete