Friday, April 15, 2016

හැරයන්නට ඉඩ දුන්නාම පමණි......

“ඇතැම් විට ජීවිතයේ අපට කළ හැකි ප්‍රේමණියම පරිත්‍යාගය හැරදමා යන්නට ඉඩ ලබා දීමය.”

ජීවිතය යනු මහා පුදුමාකාර දෙයකි. ඹව් ඔබේ ජීවිතයේ බොහෝ වාරයක් මේ වචන දෙක තුන ඔබ අසා ඇත. එහෙත් ‍ජීවිතය අත්විදින මොහොතක් පාසාම මට හැගෙනා දෙය ඔබට නොකියා මට බැරිය. සිතට නැගෙනා සිතිවිලි ක්ෂණයක් පාසා ජීවිතය පුදුමාකාර බව මට හැගෙයි. හැබැයි ඒ මේ ළගකදි සිටය.
සිතට නැගෙන බොහෝ දේ මා සංස්කරණය නොකරම කීවානම්  ඒ ඔබ සමග පමණමය. ඉදින් ජීවිතය පුදුමාකාර දෙයක් දැයි සිතන්නට නම් මට කාලයක් තිබුණේම නැත. අදටත් වෙනසක් නැතිව සෑම මොහොතකම මා යමක් සිතන්නේනම් ඒ සිතිවිල්ලෙහි ඔබ සිටියි. නුඔට කියන්නට ඇති බොහෝ දේ හුදු සිතිවිල්ලක්ම කර සිත යට හංගාගන්නට මා දැන් දනිමි. නුඔට කිසිදිනක ඒවා කියන්නට සිදු නොවන බවද මා දැන් දනිමි.
ඉදින් දැන් මම නුඔ ගැන සිතමින්ම ජීවිතයේ පුදුමාකාර බව අත්විදිමි. මා සිතා සිටියේ නුඔ මගේම පමණක්ය කියාය. නැත. එය එසේ සිදුවූයේ නැත. නූඔ මගේ වන බව දැන් කවුරුත් කියන්නේද නැත. ඉදින් ජීවිතයේ වරක් හිමිවන්නටම ගොස් අහිමිවූ නුඔ ගැන සිතමින් ජීවිතයේ පුදුමාකාරබව මම අත්විදිමි.
ඔව් මම නුඔට ප්‍රේම කරමි. බොහෝ සෙයින් ප්‍රේම කරමි. එහෙත් නුඔ පරිත්‍යාග කරන්නටනම් තුන් හිතකවත් තිබුනේම නැති බව ඉදුරාම කියමි. එහෙත් එය සැබෑවකි. මා නුඔට යන්නට ඉඩ හැරියෙමි. දහස් වර හඩමි. පසු තැවෙමි. සිතට නැගෙනා බොහෝ දේ දැන් කියන්නට කෙනෙක් නැත.

වරෙක මම පරෙස්සමට වචන ගලපමි. දහස්වර සිතමි. සීරැවට ගලපාගත් වචන හද බිතෙහි ලියා යළි යළිත් මකා දමමි. ඉරා දැමූ අතීතයකින් දැන් ඔබට ඵලක් නැත. යළිත් කියමි. මා නුඔව පරිත්‍යාග කළේ නම් නැත. හැර දමා යන්නට ඉඩ දුන්නාම පමණි. හඩමි වැළපෙමි. තැවෙමි. එපමණය.

1 comment:

  1. //සිතට නැගෙන බොහෝ දේ මා සංස්කරණය නොකරම කීවානම් ඒ ඔබ සමග පමණමය.//
    මටත් ඉන්නෙ මේම එකම එකයි...
    ලස්සනයි අරුණි. දිගටම ලියන්න.

    ReplyDelete