Sunday, May 22, 2016

කඩෙන් ගෙනාපු වෙසක්

මල්ලී වෙසක් කූඩුවක් අමාරුවෙන් අටවගන්න ඉගෙන ගන්නකම්ම අපිට නම් වෙසක් තිබුණෙ නෑ. ඉතින් අපේ අම්මටනම් කොහොමටත් කූඩු හදන්න බෑ. වෙසක් බලන්නත් අපිව එක්ක යන්න බැරි නිසා වෙසක් දා හවසට අම්ම කරන්නෙ අපි වෙසක් බලන්න ඕන කියල කරදර කරන්න කලින්ම “යන්ද අපි වෙසක් බලන්න ?” කියල අපෙන් අහන එක. ඉතින් අපිත් උඩ පැනල හා කීවාම අම්ම අපිත් එක්ක ගේ ඉස්සරහ පාරෙ උඩහට ඇවිදගෙන යනවා. යන ගමන් “අන්න අන්න අර දැක්කද ලස්සන වෙසක් කූඩුවක්. හරිම ලස්සනයි . අර දැක්කද අර පාට පාට නිවෙන පත්තුවෙන බල්බ්. හරිම ලස්සනයි නේද” කියල කිය කිය අපිටත් වඩා ඒවා වර්ණනා කරනවා. ඉතින් අපිටත් හරි සතුටුයි. පාර දිගේ වෙසක් බලල අපි ගෙදර එන්නෙ හරි සතුටෙන්.
ඊට සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං දැනගත්තෙ ඇත්තටම වෙසක් කියන්නෙ ගෙවල්වල එල්ලන වෙසක් කූඩුවකට බල්බ් වැලකට වඩා හරි ලස්සන දෙයක් කියලා. යන්තමට වෙසක් කූඩුවත් ගැටගහගන්න පුළුවන් වුණ දා ඉ‍‍‍දල මල්ලි හැම වෙසක් පෝයටම කූඩුවක් හදනවා. හතර පස් දෙනාම එකතුවෙලා අමාරුවෙන් ගැටගහන කූඩුව හුගක් වෙලාවට අලවන්නෙනම් මම. ඉතින් පස්සෙන් පහු මේ හැමදේම කරදරයක් වගේ දැනෙන්න පටන් ගත්ත. ඇයි වදේ මං එපැයි තනියෙම වෙසක් කූඩු අලවන්න.
ඒත් සිකුරාදා හවස ගෙදර එනකොට එක පාරටම මට මතක් වුනේ මල්ලිත් ගෙදර නෑ. හරි වැඩේ තමයි වෙන්නෙ. බැන බැන අලවන්නවත් වෙසක් කූඩුවක් මේ පාර නෑනෙ කියල. කෝමින් කෝම හරි කඩෙන් ගෙනාපු කාඩ්බෝඩ් වෙසක් කූඩු වලිනුයි බකට් වලිනුයි ඔන්න ඉතින් අපි මේ පාර ප්‍රීති වෙසක් සැමරුවා.
ඒත් ඉතින් වෙනදා වගේ හිත අස්සෙ දෝරෙ ගලන, වෙසක් පෝය දාට විතරක්ම දැනෙන මොකක්දෝ මන්දා කියාගන්න නොතේරෙන වෙසක් හැගීම මේ වෙසක් දා තිබුනෙ නෑ. සල්ලිවලට ගත්තු වෙසක්වල සැබෑ වෙසක් තිබුණෙ නෑ. බැන බැන අලවන පාට තෝරන රැළි කපන “අඩු තරමෙ මේ රැළි ටිකවත් දිගෑරගන්ඩ උදව් වෙනවකො” කියලා කෑ ගාන දඩිබිඩියෙ කූඩුව අලවන ගමන්ම “හරි මං කූඩුව අලවන්නම් අර දන්සලට ගිහින් අපිටත් මොනව හරි ගේනවකො” කියල කියන වෙසක් මේ පාර ආවෙ නෑ. ඇත්තටම කියනවනම් කියාගන්න නොතේරෙන වචනවලට පෙරලන්න බැරි අපේ සහෝදර බැදීමෙ අඩුව මේ වෙසක් මාසෙ දැනුණා.


10 comments:

  1. මේ වතාවෙ මට දැනුනෙනම් වෙසක් තිබුනෙ නෑ කියල. අපේ නංගිත් තියෙන්න ඕනෙකමට තනියෙංම කූඩුවක් අලවනව දැක්ක. රටට වෙච්චි කරදරත් එක්ක මිනිස්සුන්ට වෙසක් අමතක වුණා.

    ReplyDelete
    Replies
    1. රටට වුණ කරදර එමටයි. ඒ තැන්වලදි හිත ගොඩක් කෑ ගැහුවා. මට පුළුවන් විදියට  උදව් කළා. සැබෑ වෙසක් එ් චේතනාව ඇතුළෙ තියෙනවා කියල හිත හදාගත්තා.

      Delete
  2. Replies
    1. ඔව් මේ පාර වෙසක් දැනුනෙ නෑ. අපේම අය රටේ තවත් පැත්තකත දුක් විදිනකොට පිරිල ඉතිරිලා යන සතුටින් වෙසක් සමරන්න බෑ. විනෝදෙට දෙන කන දන්සල් නතර කරල සැබෑ අරුතින් මිනිස්සු බොහොමයක් වෙසක් සැමරුවා. ප්‍රතිපත්තියෙන්ම බුදුන් පුදන්න මිනිස්සු යුහුසුළු වුණා

      Delete
  3. අපිම වෙසක් කූඩුවක් හැදුවොත් විතරයි දැනෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මට හදන්න නම් බෑ. හදලා දෙන එකක් ලස්සනට අලවන්න නම් පුළුවන්.

      Delete
  4. වෙසක්,කූඩු,දන්සැල්

    ReplyDelete
    Replies
    1. වෙනදට වඩා අඩු, ට්‍රැපික් අඩු හිත හොද මිනිස්සුන්ගෙන් පිරුණු වෙසක්

      Delete
  5. ඉස්සර වගේ නම් දැන් වෙසක් නැ.

    ReplyDelete
    Replies
    1. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙළා. පුංචි කාලෙ බලන් හිටපු අවුරුදු දැන් ගානක් නෑ වගේම වෙසක් වුණත් දැන් ලොකුවට දැනෙන්නෙ නෑ.

      Delete