ඉපල්ව ඉරිතැලී ගිය ගම්දොරේ පොළොවට
සේම අව්කාෂ්ටකයෙන් නැහැවෙන දූලි පිරි කොළඹ ගෙන්දගම් පොළොවටද වැහි අල්ලක දෙකක
ආශිර්වාදය ලැබෙන්නට පටන් ගත්තාම පමණි. ඒත් සාරි අඳින මගෙ අලුත් රස්සාවටනම් පොඩිම
පොඩි කරදරයක්. යාර හයක් පටලවගෙන එහෙට මෙහෙට දුවන එක තාම මට පුරුදු නෑ වැඩිය.
කෝමින් කෝම හරි ඔපීසියෙන් ටිකක්
කළින් පැනගත්තා. බස් හෝල්ට් එකනම් ළඟම නිසා සිරි සිරි පොදේ මං ගේට්ටුවත් වහගෙනම
බස් එකට ගොඩවෙනකම්ම බස් එක නවත්තගෙනම හිටියා. යාන්තම් ඒකත් හරි. කලබලෙන් පිඹගෙන
ආපු බස් එකෙන් බැහැල දුවගෙන වගේ යනකොටම මෙන්න කෝච්චියත් ඇවිල්ලා. මොනව කරන්නද
ඉතින් ? තව හිටියොත් යන්න රෑ වෙනවා. වැහි අඳුරත් එක්ක යන්න තිබුණු හදිසිය තව වැඩි
වුණා. ඒ නිසාම තමයි මේ පොල්ගහවෙල කෝච්චියද කියල අහන ගමන්ම ටිකක් සැපට යන්න හිතාගෙන
මං ඉස්සරහට ඇවිදගෙන ගියෙ. මෙන්න මෙයා යන්න ලෑස්තිය . හූහඬක් දානව. මං නතර වුණේ
දෙවෙනි පංතියේ මැදිරියක් ළග. තව හිටියොත් මාව මෙහෙම මෙතනම දාල කෝච්චියත්
යන්න යයි.
දඩිබිඩියෙ නැගල සෙනග පීරගෙන කෝම
හරි තුන්වෙනි පංතියටම ආවා. පුදුමාකාර සෙනගක්. කොටුවෙන්ම මේම නම් මරදානෙන් තව වැඩි
වෙයි. මේ යාර හය පටලවාගෙන තව ඉන්නට බැරිය. යාරයක් විතර එහායින් කවුරුන්දෝ බසින්නට
සූදානම්ය. ආසන පෙරළියක් වගෙයි මං ඒක දැක්කෙ. කෝම වුණත් එයා බැස්ස. ලෝබකමේ බැරිය. ඒත් දුර වැඩිය. කවුරු හරි
වාඩිවෙයි. මං මගෙ හිත හදාගත්තා. හිරවෙන තෙරපෙන ගැහැණු පිරිමි අතර යාර හයේ වැදගත්
පෙනුමට ඔන්න අහම්බෙන් වගේ මුල්තැන ආවා. “මිස්
වාඩිවෙනවද?” මොකටද බෑ කියන්නෙ මං සීට් එකේ වාඩි වුණා නෙවෙයි ඒකට පැන්නා.
ඉස්සරහ පෙම් යුවලක්. සියගණනක්
හිරවෙන තෙරපෙන සෙනග අතර කොනටම වෙන්න වාඩිවෙලා හිටපු මේ දෙන්න එයාලගෙම ලෝකෙක. ඇය
ඔහුගෙ බාහුවක් දෑතින්ම බදාගෙන.හරියට ළඟම ඉන්න කවුරු හරි ඇදල අරගනියි කියල බයට වගේ.
මට මතක් වුණේ ඔයාවමයි. “මාත් එන්නද ඔයත් එක්ක කෝච්චියෙන් යන්න?” මෙහෙම
ඇහුවෙ ඔයා. හිත පුරාම කැමති වුණත් ඒ කැමැත්ත හිත යටම හංගගෙන “ඔයාට පුඏවන්ද කෝච්චියේ
යන්න?” මං ඔයාගෙන් ඇහුවා. ඒ EDEX බලල එන ගමන්. ( ඒ ස්ටිකර් දෙකයි සීසන් තියෙන මට නොදන්නකමට ඔයා ගත්ත ටිකට් එකයි
තාම මගෙ ළඟ පරෙස්සමට තියෙනවා.)
පස්සෙන් පහු මං ඔයාව කෝච්චියට
නග්ගගත්තෙ බලෙන්ම වගේ. කෝම වුණත් මේ දෙන්න එකතුවෙලා හිත අස්සෙ ඉසියුම්ම තැන්වල
හංගගෙන හිටපු ඔයා ගැන මගෙ මතක එකින් එක හාරවුස්සනවා. ඒත් මට දැනෙන්නෙ මගෙ හිත
පහුරු ගානවා වගේ. දවසම මහන්සිවෙලා ලොකු පොත් , ෆයිල් අතර දුවපු ඇස්දෙක විඩාඅරින
මොහොතෙ මෙන්න පෙම්වතාට යන්තමට ඇහැ පියවෙනවා. ඒ නින්දට බාධා නොකරන මේ යුවතිය කඩාවැටෙන හිස
උරහිසට බරකරල කවුඏවෙන් එපිට බලනවා.
ඩතු ඩුකු ඩකු ඩුකු ඩකස් ටකස්…
කෝච්චිය අනවරත ගමනක . හෝගාන හුළං සද්දෙත් එක්ක එකතු වුණාම මහා ඝෝසාවක් විතරමයි.
එකින් එක ඇහෙන සද්ද වෙන් කරල අඳුරගන්නත් බැරි තරම්. හරියටම මේ මොහොතෙ මගෙ හිතත් මේ
වගේ. මහා ඝෝසාවක් විතරමයි. එකින් එක අඳුරගෙන වෙන්කරල පැත්තකින් පිළිවෙළට ගොඩගහන්න
බැරි සිතුවිලි ජාලයක් හිත අස්සෙ. දරාගන්නත් බැරි තරමයි. ගැඹුරු හුස්මත් එක්ක පපුව කීපවරක්
පිම්බිලා පිම්බිලා අන්තිමට දරාගන්න බැරි වැඩි හරිය දිග සුසුමකින් පිටවෙලා එළියට
ගියා.
මේ ටික හැමදාම මේමයි. කෙලවර වෙන්නෙ
ඇස් දිළිසවල බව දන්න නිසාමයි මම කවුළුවෙන් පිටත බලා ගත්තේ. තාම මහ වර්ෂාව ඇද
වැටෙනවා. වහල දාපු වීදුරු ජනේලෙ තුනී මීදුම් පටලයක් එතිල. පසුකරන් යන හැමදේම
ඡායාවන් වගේ බොඳවෙලා. ඇත්තටම ඒමද නැත්තම් මට පේන හැටිද ? මං හෙමිහිට අතගාලත්
බැලුවා. (දැන් දැන් නිතරම මහ වරුසාවක් නැතත්
කවුළුවෙන් එපිට
මට පේන්නෙ බොඳවෙලා. )
ඔන්න දැන් කෝච්චිය නතර වුණා .
හිස්ම හිස් නිහැඬියාවක්. ඩකු ඩුකු සද්දෙ නෑ. හිරවුණු තෙරපුණු සෙනග නෑ. පෙම්යුවලත් බැහැල
ගිහිල්ල. නිහැඬියාවත් එක්කම මෝදු වෙන රෑ අඳුර වැහි අඳුරත් එක්ක හාද වෙලා. මගෙ හිතත් මොහොතකට ගොළු වුණා. මං හිමීට එබිකම්
කරල බැලුවා. ම්හු…ඒ ගමන මුකුත්ම පේන්න නෑ.
රෑ අඳුරට එකතු වෙච්ච වැහි අඳුර විතරමයි.
ආයෙමත් ඩකු ඩුකුව පටන් ගත්තා.
හෝගාන සද්දෙත් එක්කම. කිසි හදිසියක් නෑ. මං වගේම දවසේ විඩාව නිවන කෝච්චිය.
නැවතිල්ලේ සිතුවිල්ලේ ගමන ගොස් අන්තිමේදි ආයෙමත් නැවතුණා. මං බැහැගත්තා. ආයෙමත්
යාර හය කොනකින් උස්සගෙන හැල්මෙ යන ගමන. මොහොතකට ඔයා හිත අස්සෙ හිටියෙ නෑ. බස් එකේ
නැගල මං ගෙදර ආවා. වැහි අඳුරත් එක්ක කැලතුණු රෑ අඳුර පිරැණු අදවගේ දවසක හිතම මේ
වගේ කළුවර වුණ බව මං මටම කියාගත්තා.
කාෂ්ටකේට ඉර පායන කොළඹදිත්
තුරුලතා සෙවන යටින් මං ඇවිදින ගම්මැද්දෙදිත් හැමවෙලේම ඔයාගෙ මතක මගෙ හිත ළඟ. මං මේ
කෝච්චිය වගේ අනවරත ගමනක් .හැල්මෙ දුවනවා. මොහොතකට විඩා නිවනවා. ආයෙමත් දුවනවා.