Sunday, May 22, 2016

කඩෙන් ගෙනාපු වෙසක්

මල්ලී වෙසක් කූඩුවක් අමාරුවෙන් අටවගන්න ඉගෙන ගන්නකම්ම අපිට නම් වෙසක් තිබුණෙ නෑ. ඉතින් අපේ අම්මටනම් කොහොමටත් කූඩු හදන්න බෑ. වෙසක් බලන්නත් අපිව එක්ක යන්න බැරි නිසා වෙසක් දා හවසට අම්ම කරන්නෙ අපි වෙසක් බලන්න ඕන කියල කරදර කරන්න කලින්ම “යන්ද අපි වෙසක් බලන්න ?” කියල අපෙන් අහන එක. ඉතින් අපිත් උඩ පැනල හා කීවාම අම්ම අපිත් එක්ක ගේ ඉස්සරහ පාරෙ උඩහට ඇවිදගෙන යනවා. යන ගමන් “අන්න අන්න අර දැක්කද ලස්සන වෙසක් කූඩුවක්. හරිම ලස්සනයි . අර දැක්කද අර පාට පාට නිවෙන පත්තුවෙන බල්බ්. හරිම ලස්සනයි නේද” කියල කිය කිය අපිටත් වඩා ඒවා වර්ණනා කරනවා. ඉතින් අපිටත් හරි සතුටුයි. පාර දිගේ වෙසක් බලල අපි ගෙදර එන්නෙ හරි සතුටෙන්.
ඊට සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං දැනගත්තෙ ඇත්තටම වෙසක් කියන්නෙ ගෙවල්වල එල්ලන වෙසක් කූඩුවකට බල්බ් වැලකට වඩා හරි ලස්සන දෙයක් කියලා. යන්තමට වෙසක් කූඩුවත් ගැටගහගන්න පුළුවන් වුණ දා ඉ‍‍‍දල මල්ලි හැම වෙසක් පෝයටම කූඩුවක් හදනවා. හතර පස් දෙනාම එකතුවෙලා අමාරුවෙන් ගැටගහන කූඩුව හුගක් වෙලාවට අලවන්නෙනම් මම. ඉතින් පස්සෙන් පහු මේ හැමදේම කරදරයක් වගේ දැනෙන්න පටන් ගත්ත. ඇයි වදේ මං එපැයි තනියෙම වෙසක් කූඩු අලවන්න.
ඒත් සිකුරාදා හවස ගෙදර එනකොට එක පාරටම මට මතක් වුනේ මල්ලිත් ගෙදර නෑ. හරි වැඩේ තමයි වෙන්නෙ. බැන බැන අලවන්නවත් වෙසක් කූඩුවක් මේ පාර නෑනෙ කියල. කෝමින් කෝම හරි කඩෙන් ගෙනාපු කාඩ්බෝඩ් වෙසක් කූඩු වලිනුයි බකට් වලිනුයි ඔන්න ඉතින් අපි මේ පාර ප්‍රීති වෙසක් සැමරුවා.
ඒත් ඉතින් වෙනදා වගේ හිත අස්සෙ දෝරෙ ගලන, වෙසක් පෝය දාට විතරක්ම දැනෙන මොකක්දෝ මන්දා කියාගන්න නොතේරෙන වෙසක් හැගීම මේ වෙසක් දා තිබුනෙ නෑ. සල්ලිවලට ගත්තු වෙසක්වල සැබෑ වෙසක් තිබුණෙ නෑ. බැන බැන අලවන පාට තෝරන රැළි කපන “අඩු තරමෙ මේ රැළි ටිකවත් දිගෑරගන්ඩ උදව් වෙනවකො” කියලා කෑ ගාන දඩිබිඩියෙ කූඩුව අලවන ගමන්ම “හරි මං කූඩුව අලවන්නම් අර දන්සලට ගිහින් අපිටත් මොනව හරි ගේනවකො” කියල කියන වෙසක් මේ පාර ආවෙ නෑ. ඇත්තටම කියනවනම් කියාගන්න නොතේරෙන වචනවලට පෙරලන්න බැරි අපේ සහෝදර බැදීමෙ අඩුව මේ වෙසක් මාසෙ දැනුණා.


Friday, May 6, 2016

මේ මිනිස්සුන්ගෙ ජීවිත............එයා වැරදි නෑ..........

සාලාවෙ දකුණු කෙළවරේ අපිටම වෙන් කරල තිබුණ ආසනයක මං ගිහින් වාඩි වුණා. මගෙ සගයත් මං ළගමයි. තවම ගොඩත් වෙලාව තියෙනවා හැමදේම පටන් ගන්න. මුලින්ම අපි ආගිය තොරතුරුකතාවුණා. දැන් ඉතින් කතා පෙට්ටි දෙකම වහල. මං මගෙ සුපුරුදු ස්ථාන පරීක්ෂාව පටන් ගත්තා. මෑතකදී නවීකරණය කරල තිබුණත් තාමත් මෙහි ‍‍පෞරාණික ලක්ෂණ බහුලයි. පොළොව සම්පූර්ණයෙන්ම හදල තියෙන්නෙ ලීවලින්. හැබැයි හොදට පොලිෂ් කරල නම් නෑ. ඒත් ඇවිදිනකොට එන ඩගස් ඩොගොස් සද්දෙට මං කැමතියි. උදේම කාර්යබහුල වටපිටාවෙ අතරමං වෙන මං දැන් මොහොතකට හරි ඒ සද්දෙ නැවතිල්ලෙ අහන් ඉන්න පුරුදු වෙලා.  වෙලාව පිටපිටම ‍දෙසැරයක්ම බලල තමයි මං ආයෙත් උඩ බැලුවෙ. ස්ස් ස්ස්ස් ස්ස් ස්ස්ස් සද්දෙට කැරකෙන විදුලි පංකා අතරත් මං මොහොතකට නැවතුණා.තැනින් තැන අලංකාර ලී කැටයම් සහිත සිවිලිම. බැලුවම හරි අලංකාරයි.
මේ ඔක්කොම බලන අතරෙ මං ආයෙමත් සැරයක් හැරිල වට පිට බැලුවෙ නන්නාදුනන මේ සෙනග ගොඩේ මං අදුනනම කෙනො වාඩිවෙලා ඉන්නෙ කොතනද බලන්න වගේ.ඇත්තටම එතම මගෙ කියන කවුරුත්ම නෑ. ඒත් මං ස්ථාන පරීක්ෂාවෙන් පස්සෙ පුරුද්දට වගේ එතන බලනවා. ඔහොම බලනකොට තමයි එයා ළග මගෙ ඇස්දෙක නතර වුණේ. ඔන්න එතකොටම තත්ත්පර වලින් විනාඩිවලින් කියන්න දන්නෙ නැති හුග වෙලාවකට පස්සෙ මගෙ කතාපෙට්ටිය ඇරුණා. “එයාව මං දන්නවා. මං හොදටම දන්නවා. ඒත් කොහොමද කියල මට මතක නෑනෙ.” මං කිව්වෙ මගෙ සගයට. නොහොම හරි කමක් නෑ. මගෙ කතාවෙ කථානායිකාව එයා වෙනවට නම් මුල ඉදලම මගෙ කැමැත්තක් තිබුණෙම නෑ. ඒත් ඒ එයාම තමයි.
මීට පැය ගාණකටම පස්සෙ ලියකියවිලි ගොඩක් එක්ක මට ලැබුණු ෆයිල් මිටිය ගෙදර උස්සගෙන ආවෙනම් මං බොහොම ආසාවෙන්. දන්න තේරෙන කාලෙ ඉදලම මං ආසකරපු දේවල් මං ඉගෙන ගත්ත දේවල් වලින්  වැඩත් ගන්න කාලෙ ඇවිල්ලා.
ඒත් මං මුළ ඉදලම සැක කරපු විදියටම මගෙ අතට ඇවිත් තිබුණෙ එයාගෙ කතාව.
ඔව් මං එයාගෙ කතාව කියවන්න ගත්තෙ සිකුරාද රෑ. හැබැයි නෙසුරාද රෑත් කියවල ඉරිද දවසෙමත් කියවල මං ඉරිදා රෑ අමාරුවෙන් එයාගෙ කතාව කියවල ඉවර කළා. එතකොට මට තිබුණෙ ලොකු ඔලුවෙ කැක්කුමක්. මට කතාව ඇතුළෙන් එයාගෙ රූපෙ මැවි මැවි පෙනුණ. එයා කතා කරන හැටි, හිනාවෙන හැටි, මේ හැමදෙයක්ම අතරින් ඇයි මෙහෙම වුණේ මං ආයෙ ආයෙම කල්පනා කළා. අන්තිමේදි උත්තරයක් නැති හිතට වද දෙන ප්‍රශ්නයක් එක්ක නින්දට ගිය මං ආයෙමත් සදුද උදේ මහා බරක් එක්ක නැගිට්ටා. ඇයි මෙහෙම වූණේ.
මට උත්තරයක් ඕනවුණා. ඒත් ඒකට මට හරි උත්තරයක් ලැබුණෙ නෑ. ඒක ඒකපාර්ෂවික උත්තරයක් . මං ඒක පිළිගන්න කැමති වුණේ නෑ. මං අල්ප්‍රාණව දන්න මේ සාස්තරේ ඇතුලෙ කොහෙවත්ම කියන්නෙ නැති තැනකින් උපුටගත්තු හරි අපූරු කවුන්ටර් ආර්ගියුමන්ට් එකක් තමයි මට තිබුණෙ. ඒ ආර්ගියුමන්ට් එක ඇතුළෙ එයාට වගේම මං දන්න නොදන්න  හැමෝටම චෝදනා එල්ල වුණා. ප්‍රොසීඩියර් එකක් දෙකක් ස්කිප් කරල මං කෙලින්ම ආවෙ හරස් ප්‍රශ්න වටයට.
“ජීවිතේ අවුරුදු ගානක්ම එකට ජීවත් වෙලා, සැප දුක වගේම හැම රහසක්ම බෙදාගෙන අන්තිමේට මෙහෙම ලෝකෙම ඉස්සරහ එක්කෙනෙකුට එක්කෙනෙක් වැරදිකාරයො කරගෙන ගතු කියන්න මිනිස්සුන්ට පුළුවන්ද?”
මට උත්තරයක් ලැබුණෙ නෑ. ලැබුණෙ උපදෙසක්.
“ අපි ජීවත් වෙන මේ සමාජෙ සර්ව සම්පුර්ණ නෑ. මිනිස්සුන්ට විවිධාකාර ප්‍රශ්න තියෙනවා. තමන්ට විසදගන්න බැරි ප්‍රශ්නයක් අරගෙනයි එයාල අපි ළගට එන්නෙ. එතනදි හුගක් සංවේදී වෙනවට වඩා මේ ප්‍රශ්නෙ විසදගන්න අපි එයාලට උදව් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ ජීවිත ............”
එයාගෙ කතාව මං ඔයාට සම්පූර්ණෙන්ම කියන්නෙ නෑ. ලෝකෙම ඉස්සරහ ගතු කියාගන්න එයාලට පුළුවන් වුණාට පරෙස්සමටවත් වචන ගලපල ඒ කතාව ඔයාට කියන්න මං දක්ෂ නෑ. ඒ කාලෙ මෙහෙම කතා පොතින් කියවල මං හිනා වෙනවා. කාගෙවත් දේවල් මට මොකටද කියලත් හිතනවා. අන්තිමට අන්වර්ථ නාමෙකුත් දාගෙන ඒක මතක තියාගෙන විභාගෙට ලියල මං ගෙදර එනවා. මේ මිනිස්සුන්ගෙ ජීවිත‍‍........තේරුම් ගන්න හරිම අමාරුයි. සසැලෙන හිතක් එක්ක මේ ගමන යන්න අමාරුයි. තියරියෙන් දකින මනුස්ස ජීවිත හඩන දොඩන ගතු කියන දුටු තැන අහක බලන රවන ගොරවන ආයෙමත් සැරයක් යන්න කලින් හොරැහින් හරි බලල යන මේ මිනිස්සුන්ගෙ ප්‍රැක්ටිකල් ජීවිත ඇතුළෙ නෑ....

සසැලෙන හිතක් තියාගෙම මේ ගමන යන්න හරි අමාරුයි.........


එයා වැරදි වෙන්න බෑ. මං මගෙ ඒකපාක්ෂික තීන්දු ප්‍රකාශෙ නිකුත් කළා. 

Thursday, May 5, 2016

අපි මුණගැහෙයි , එකම තැනකදි මුණගැහෙයි

මං ලියන හැම කතාවකම විෂය වෙන්නේ ප්‍රේමය. දන්නෙ නෑ මං ලියන අකුරක් ගානෙ ඔයාව මේ තරමටම අමතක කරන්න බැරි ඇයි කියල. ඒ කෝම වුණත් අමතක වෙන්න කලින් මතක් වුණ වෙලේ මං කොහෙදි හරි කියවපු මෙන්න මේ ටික අකුරු කරල යන්න මට ඕන වුණේ.

හෙට පිපෙන මල් සේරම අද රැම
කට කොනින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
 දත් පෙනෙන්නේ තවමත් ටිකයි
හෙටත් අද වගේනම් ඉතින්
 අපි කොහේ හෝ තැන තැන ඉදියි
එහෙත් එය ඇත්තක් නෙවෙයි
කොහේදි හරි නොවෙයි
 එකම තැනකදි මුණගැහෙයි